Loading...

Sunday, March 13, 2011

පුළුන් මෙට්ට සහ රට කජ්ජ (The princess and the peanut ඇසුරෙනි)(-කතා පිංච-එල්.සී.ජයසිංහ-)


ඉස්සර එක රටක සිටු පවුලක් හිටියා. සිටාණෝ මැරිල සිටු දේවියි, සිටු පුතයි විතරයි හිටියෙ. ඒ සිටු කුමාරයත් ඔන්න සිටු කියලවත් ගෙදර නවත්තගන්න බැරි මද කිපෙන වයසට පැමිනියා. ඒ කිව්වෙ ඉලංදාරිය වුණා. ඉතිං ඔය වයසෙ ගැටවරයින් දඩාවතේ යන එක නවත්තන්න තියෙන එකම ක්‍රමය මොකෙක් හරි කෙලි පැටික්කියක් මාට්ටු කරල දෙන එක හින්ද ඒ සිටු කුමාරයටත් පෙළවහක් කරල දෙන්න සිටුදේවිය ලැහැස්ති කළා...
ඔය වයසෙ ඉලංදාරින්ට දෙමව්පියෝ ඔහොම යෝජනාවක් කරපු හැටියෙ ඒකට කැමති වෙන් නෑ. මොකද ඉලංදාරි දන්නව දෙමව්පියන්ගෙ ටේස්ට් එක. ඒ ගොල්ල හොයන්නෙ උගත්, වැදගත්, පොහොසත්, තැන්පත් හොඳ ගති පැවතුම් ඇති ගෙදර දොරේ වැඩ දන්න අර පත්තර වල මංගල යෝජනාවලට දාන ජාතියෙ කුල කුමරියෝ. නමුත් ඔය වයසෙ ඉලංදාරින්ට ඕනැ ‍කරන්නෙ ස්ටයිල්කාර විසේ ඇති බඩු. ඒක හින්ද දෙමව්පියන්ගෙ හිත් රිදෙනවට ඔහොම දෙයක් ගැන කියපු හැටියෙ ඉලංදාරි කියන්නෙ “අපෝ ඒව ගැන මං තාම හිතුවෙවත් නෑ..”, “පස්සෙ බැරියැ..”, “මට තව දුරට ඉගෙන ගන්න ඕනෙ..” වගේ මොකක් හරි බොරුවක්..
ඉතිං අර සිටු කුමාරයත් අම්මගෙ අර යෝජනාව ගැන දැනගත්තු ගමන් අම්මගෙ හිත රිදෙනවට කිව්වෙ “අනේ අම්මි, මම නං රජ කුමාරියක්ම මිසක් වෙන කෙනෙක් නම් පෙළවහට ගන්නෙ නෑ...” කියල..
බඳින වයසෙ කෙල්ලො රටේ ලෝකෙ කොච්චර හිටියත්, බඳින්න කෙනෙක් හොයන්න ගිය දාටයි කෙනෙකුට හිතෙන්නෙ “හැබෑට මේ ගෑණු කියන ජාතිය මෙච්චර හිඟද” කියල. ඉතිං සාමාන්‍ය ගෑනු කෙනෙක් හොයන එකත් ඔච්චර අමාරු නම් රජ කුමාරියක් හොයනවයි කියන එක ලේසි පහසු වැඩක් නොවන බව සිටු දේවිය දැන ගත්ත. ඒ උනත් පුතාට ඕනෙ රාජ කුමාරියක්මයි කියපු හින්දා සිටු දේවිය කොහොම හරි ඒ වැඩේ කරන්න වෙහෙසුනා..
අපි වගේ සාමාන්‍ය අයට කවදාවත් හිතපු දෙයක් හිතන විදියට නොලැබුණාට සල්ලිකාර සිටුවරයො වගේ ඇත්තන්ට යමක් හිතුනොත් ඒක හිතුවටත් වැඩිය ඉහළිනුයි ලැබෙන්නෙ. ඒ හින්ද සිටු දේවියත් දන්න මට්ටම් දදා සිටු කුමාරයට රජ කුමාරියක්ම හොයන්න වෙහෙසෙන කාලෙ දවසක් රෑ හෝ ගාල හෙණ අනෝරා වැස්සක් වැස්සා. ඒ වැස්සෙ තෙමීගෙන කව්ද ලස්සන ගෑණු ළමයෙක් වැස්සට හිටින්න කියල සිටු මාළිගාවට ගොඩවුණා.
සිටු දේවිය ඒ ගෑණු ළමයව දැකල විස්තර ඇහුවම එයා රජ පවුලත් එක්ක විනෝද සවාරියක් ගහන්න ඇවිත් පාර වැරදිලා යන එන මං හොයාගන්න බැරුව ආපු රාජ කුමාරියක් කිව්වා. ඒත් ඒක ඇත්තද කියල බලන්න සිටු දේවිට හිතිල එදා රෑ ඒ ගෙදර නතර වෙන්න කියල හොඳට රෑ භෝජනේ පිළියෙල කර දීල නිදා ගන්න ඇඳකුත් ලෑස්ති කළා. ඔන්න ඕකෙන් තමයි එයා නියම රාජ කුමාරියක්ද කියල හොයා ගන්න සිටු දේවිය උපායක් යෙදුවෙ. කුමාරිට නිදා ගන්න පිළියෙල කළ ඇ‍ඳේ සිනිඳු පුළුන් මෙට්ට විස්සක්ම එක පිට එක දාල අඩියෙම මෙට්ටෙ යටින් රට කජුවක් තිබ්බා. ඉතිං කුමාරිට නිදාගන්න කියල පහුවදා උදේ ගිහිං ඇහුවා “කොහොමද හොඳට නින්ද ගියාද..?” කියල. ඒ සැරේ කුමාරි කිව්ව “මොන නින්දක්ද අනේ, රට කජ්ජක් වගේ මොකක්ද එකක් පිටේ ඇනෙන්න වුන හින්ද එළිවෙනකම්ම මං හිටියෙ එහාට මෙහාට පෙරළි පෙරළි..” කියල.
ඒ කථා වෙන්ම සිටු දේවි දැන ගත්ත කුමාරි නියම රජ සැප විඳපු රජ බඩුවක් බව. අර තරම් මෙට්ට දාල දීලත් රට කජ්ජක් වගේ සුළු දෙයක් උනත් යට තිබුන එක කරදරයක් වුණේ රජ සැප විඳපු රජ කුමාරියක් හින්දමයි කියල විස්තර කරල දීල පුතාට කිව්වා “ඔන්න එහෙනං දැං රජ කුමාරියක් හම්බ වුණා, බැඳපං” කියලා. ඒ සැරේ “රට කජ්ජක් ඇණුන පමණින් රැයක් නින්ද නොයන තරම් සැප විඳපු එකියක් බැන්‍‍දොත් තමාට නම් කවදාවත් සැපතක් විඳින්න ලැබෙන්නෙ නැහැයි” කියල ඒ රාජ කුමාරිට යන දිල්ලියක යන්න අරින්නයි අම්මට කියල ඇතුළට වුණා..
ආදර්ශය- සල්ලිකාරයෙක් බඳින්න බලාපොරොත්තුවන ගැහැණු උදවිය සැප විඳීමට බලාපොරොත්තු නොවිය යුතුයි..

Thursday, February 17, 2011

ගෙදර දෙයියෝ (-කතා පිංච-එල්.සී.ජයසිංහ-)

ඉස්සර එක ගමයෙක් හිටියා. ඔය ගමයා කසාද බඳින දවසෙ ගමේ ඉස්කෝලෙ ප්රිෙන්සිපල් මහත්තයා මඟුල් මේසෙදී මනමාලයට අවවාද කරන ගමන් කිව්ව ගෙදර සාමය පවත්තගන්න නං පුර්ෂයා තමාගෙ භාර්යාව අදහන්න ඕනෙ කියල.. “අදහන්න” කියන එකෙන් ඉස්කෝලෙ මහත්තය අදහස් කලේ “විශ්වාස කරන්න” ඕනෙ කියන එකයි.. ඒත් ගමයා ඒක වරදවා තේරුම් අරං එදා ඉඳල ගම මහගෙට වැඳුම් පිදුම් කර කර දෙයියන් අදහන්නා වගේ අදහුවා..


ඉතිං ගමයගෙන් වැඳුම් පිදුම් ලබ ලබා ගම මහගෙ දිව්යේ කුමාරියක් වගේ ඉන්නකොට දවසක් ගෙදරට ආ දැනුම් තේරුම් ඇති වැඩිහිටියෙක් ගමරාළට තමන් කරන මස්ත බාල්දු වැඩේ ගැන තේරුම් කරල දීල, පහුවදාම ගමයට වැදුම් පිදුම් කරන්න දේව රූපයක් ගෙනත් දුන්නා.. එදා ඉඳල ගෑනිගෙන් බලු බැනුම් අහ අහා ගමයා දේව රූපෙට වන්දනාමාන පුද සත්කාර කර කර ඉන්නකොට දවසක් දේව රූපෙට තියන පානෙ නිවිච්ච පාන් තිර කන්න ආපු මීයෙක් දෙයියන්ගෙ ඉහට උඩින් පනින්න ගිහිං දෙයියො පෙරළිලා බිම වැටිලා කුඩු පට්ටම් වෙලා චුත වුණා..


ගමයා මේක දැකල “දෙයියව බිම පෙරලන්න තරම් හයිය තියෙන මීයා තමයි නියම දෙයියා” කියල මීයව අල්ලගෙන කූඩුවක දාගෙන කෑම බීම දිදී ඌට පුද පූජා පැවැත්තුවා.. මීයත් මේව කාල බීල නිකං පුස් ඌරා වගේ ලොකු වුනා.. මී දෙයියන්ව දැකපු දා ඉඳං ඌට කෙළ හළ හළා හිටපු ගෙදර බැළලි දවසක් ගමයා පූජාව තියන්න කූඩුව අරිනවත් එක්කම ඇතුලට පැනල මී දෙයියන්ව අල්ලගෙන කෑවා.. එදා ඉඳල ගමයා බැළලිව අදහන්න පටන් ගත්තා..


බිළාල දේව මෑණියන්ට කිරි, මස් මාළු ආදී බිලියම් දිදී ගමයා කරන දේව තේවාවෙන් පස්සෙ ගෙදර හිටිය බල්ලට ගමයගෙන් කලින් තිබුණ සැලකිලි කිසි දෙයක් නැති වුනා. බළල් දේවතාවිට මස් මාළු පිළිගන්වන වෙලාවක බල්ල හෙම ඒ කිට්ටුවට ගියොත් “දුප්..! මගෝඩියා..” කියල ගමය ඌට පයින් ගහල පන්න ගන්න‍ව. මේකෙන් බැළලි ගැන වෛරයක් බැඳගත්ත බල්ලා “හොඳයි පූසා.., හිටපිය මටත් වාරයක් එනකං” කියල පුපුර පුපුරා හිටියා.


ඔහොම ඉන්නකොට අර “Every dog will have its day” කියන ඉංගිරීසි කියමනේ හැටියට බල්ලගෙ වාරෙත් ආවා.. දවසක් බැළලි දිව්යී භෝජනේ වලඳලා ගෙයි එලිපත්ත උඩට වෙලා අව්ව තැප තැප ෂපාන් එකේ ඉන්නව දැකල බල්ල පිළිකන්නෙ ඉඳල කුරුමානං අල්ලල ඇවිත් පැන්න ගමන් බැළලිගෙ බොටුව දෙකට කඩා දැම්ම. ගමයා මේක දැකපු හැටියෙ “යකෝ.. මූ නේ නියම දෙයියා..” කියල එදා ඉඳලා බල්ලට දෙයියන්ට වගේ පුද පූජා පවත්වන්න වුණා..


අනික් අය වගේ නෙවෙයි, බල්ලව දෙයියො කරගෙන ගමයා කරන බහුබූතෙ දැක්කට පස්සෙ ගම මායියට ඉරිසියාවෙ ඉහිලුම් නැතුව ගියා.. කලින් වෙච්ච දේවල් ඔක්කොම දැකපු ගම මහගෙ දැනගත්ත බල්ලට වැඩක් දීපු දාට තමාට නැවතත් දේවත්වය ලබා ගන්න පුළුවන් බව.. ඉතින් මේකට හොඳ වෙලාවක් බල බලා ඉන්න කොට, ගමයගෙන් අර තරම් පුද පූජා ලැබෙද්දීත් බල්ලගෙ බලු ගතිය අත් අරින්න බැරි හින්ද, දවසක් බල්ලා බත් වළඳට ඔළුව ඔබල හොරා කන්න හැදුවා. ගම මහගෙත් හොඳට මාන බලලා බල්ලගෙ ඔලුවටම ඉලක්කෙ අල්ලලා, දොර පොල්ලෙන් එක පාරයි දුන්නෙ සුනඛ දේවතාවා එතනම උඩු කුරුන්දං වෙලා ස්වර්ගස්ත වුණා..


ගමයත් මේ සිද්ධිය බලාගෙන ඉන්නව ගම මහගෙ දැකල හරිම සන්තෝස වුණා. දැන් ඉතිං ආයෙත් වාරයක් ගමයගෙන් වැඳුම් පිදුම් ලබන්න ලැබෙනව නේද කියල කුස්සියෙන් එළියට බැහැල බැලුවහම ගමයා ගෙයින් පිටවෙලා වත්තෙ කඩුල්ලෙන් පැනල කඩ මංඩිය දිහාට යනව පෙනුණා. තමාට පූජා කරන්න කලමනා හරි හම්බ කරගෙන එන්න තමා එයා ගියේ කියල ගම මහගෙ ගමයා ආපහු එනකල් පිල උඩට වෙලා ඉන්න කොට ගමයා වැඳුම් පිදුම් කරන්න කියලා තවත් බල්ලෙක් කොහෙන්දෝ හොයන් ආවා...


ආදර්ශය-දෙවරක් බිරිඳ අදහන මිනිහෙක් නැත..

Sunday, February 6, 2011

වැදි රජ පලා ගිය වගයි(-එල්.සී.ජයසිංහ-කතා පිංච-)

ප්‍රොපසර් දිසාපාමොක් ඉස්සර තක්සලා කැම්පස් එකේ වයිස් චාන්සලර් වෙලා ඉන්න කාලෙ මනමේ කියල රජ බඩුවක් ආට්ස් පැකල්ටි එකට එන්ටර් උනා.. මනමේ කියන්නෙ හොඳ ඕල් රවුන්ඩර් බඩුවක්..
පොර ගිය ගිය තැන අල්ලන්නෙ ලොකු ලොකු අතුම හින්ද කැම්පස් එකට එන්ටර් වෙලා වැඩි කලක් යන්න මත්තෙන් වයිස් චාන්සලර්ගෙම දුව දැල දාල සෙට් කර ගත්තා..
අන්තිමට මෑන් පස්ට් ක්ලාස් ඔනස් ඩිග්රියක් ගහල, කැම්පස් එකෙන් පිටවෙන්න කලින් මිස් දිසාපාමොක්ව මිසිස් මනමේ කර ගත්තා.. පස්සෙ දෙන්නම ප්‍රොපෙසර් දිසාපාමොක් ගෙන් අවසර අරං මනමේගේ හෝම් කමින් එකට ඉස්සෙල්ල හනිමූන් යන්න පිටත් වුනා...
දෙන්න පාර අයිනෙ ගලක් උඩ වාඩියක් කාරිය දාල ලව් පාට් දදා ගිමන් නිවන්න පටන් ගත්තා.. කොයික වෙතත් සූදානම් ශරීරෙ කියල මිස්ට මනමේ කඩුව හෙම අතට අරගෙනයි හිටියෙ.. ඔය අතරෙ මිසිස් මනමේ මිස්ට මනමේගෙ උකුල උඩින් ඔලුව තියාගෙන මෑන්ගෙ මූණ අතගගා ඇහුවා “අනේ ඩාලිං, මට නං හරි බයයි.. ඔයාට බය හිතෙන්නෙ නැද්ද” කියලා.. ඒ සැරේ “පිස්සුද මගේ රන් කඳ ළඟ හින්ද මම දැන් මුලු ලෝකෙටම බය නෑ.. කොහේ ගියත් මමත් රන් කඳ නැතුව යන්නෑ..” කියල මිස්ට මනමේ කිව්වා..
ඔය වෙලාවෙම ඒ වනාන්තරේ හිටිය වැදි රජෙක් මේ දෙන්න පලෝ එක දාගෙන ඇවිත් ගහකට මුවාවෙලා දෙන්නගෙ කථාවට ඇන්ටනාව දාගෙන හිටියා..ඉඳලා එකපාරටම එලියට ඇවිත් බැලුව විතරයි, මිස්ට මනමේ කඩුව කාරිය අල්ලගෙන ඇහුව “මොකද හලෝ... මොකාටද මේ එන්න හදන්නෙ” කියලා.. ඒ සැරේ “ නිකං ජාති ඕනෙ නෑ මල්ලී.. අපි හොඳට හොඳයි.. ඒ හින්ද උඹේ ඔය රංකඳ මට දෙනව නං උඹට යන්ඩ ඉඩදෙන්නං.. නැත්නං ඉතිං බඩු පැකට් තමයි..” කියල වැදි රජ්ජුරුවො මිසිස් මනමේ දිහා නිකං සර්ච් ලයිට් එකක් ගැහුව වගේ ඉලෙක්ට්රිික් බැල්මක් දැම්මා.. ඒ බැල්මෙ කරන්ට් එක වැදිල මිසිස් මනමේ නිකං නිල් වෙලා ගියා..
ඒ සැරේ මනමේට මාරය නැගල වැදි රජ්ජුරුවන්ට පයිට් එකට චැලෙන්ජ් කරල බැලුව. වැදි කින්ග් වරෙන් එහෙනං කියල ම‍නමේ එක්ක පොරට වැටිල පොල් අඩි පාරවල් දෙන්න පටන් ගත්ත.. මනමේ කරාටේ කාරයා හින්ද ඒ පාරවල් ඔක්කොම වලක්වලා ෂොට් දෙකෙන් වැදි කින්ග් නොකවුට් කලා.. වැදි කින්ග් බිම දාගෙන දෑතින්ම පොලොවට තද කරගෙන මිසිස් මනමේට කිව්ව “ඩාලිං මගේ මේ කඩුව අරං දෙන්න මූට හොඳ පාඩමක් උගන්නන්න” කියල..
ඒ වෙනකොට මිසිස් මනමේට වැදි රජා ගැන හෙණට ලව් හිතිල, ඒ හින්ද ගෑනි කඩුව ගත්තු ගමන්ම ඒක බැරිවෙලා වගේ වැදි රජාගෙ අතට දුන්නා.. ඒක අහුවුන හැටියෙ වැදි රජා ඇඟ උඩ නැඟල හිටිය මිස්ට මනමේවත් පෙරළ‍ගෙන පණ එපා කියල ඒකත් අරං කැලේ කඩාගෙන දුවන්න පටං ගත්ත, වැදි රජ්ජුරුවො හිතල තියෙන්නෙ අර කපල් එක ගල උඩ වාඩිය දාගෙන ඉන්න ගමන් රන් කඳ කියල කිව්වෙ කඩුවටය කියලා.. (සෙල්ලං නෑනෙ රත්තරං කඩුවක් කියන්නෙ..) මෑන්ට ඕනැ කරල තිබුනෙත් ඒක.. ඒක නැතිවුන හැටියෙ මිස්ට මනමේටත් මිසිස්ව එපාවෙලා කැලේදිම දික්කසාද කරල වෙන පැත්තක් බලාගෙන මාරු වුනා....

ආදර්ශය-ගෝරි වලදී ගෑනුන්ගෙන් හෙල්ප් බලාපොරොත්තු වීම භයානකය..

Wednesday, January 26, 2011

රොමියෝ සහ ජුලියට් (-කථා පිංච-එල්.සී.ජයසිංහ-)


ඉස්සර රොමියෙල් කියල මෑන් කෙනෙක් හිටියා.. රොමියෙල් කාරයට රොමියෙලෝ.... කියල ආමන්ත්‍රණය කරන එක නිකං මහ මොකක්ද වගේ හින්දා හැමෝම මිනිහට කතා කලේ රොමියෝ... කියල...
ඔය නගරෙම හිටිය රොසලින් නෝනා කියල බොහොම ගණන් උස්සපු සක බඹරයක්. රොමියෝ කාරයා ඈත් එක්ක ලව් දාන්න ගිහිං ඇගෙන් බූට් එක වැදුනා.. ඒ පල් එක දරාගන්න බැරුව රොමියෝ කාරයා අප්සෙට් පිට සයිඩ් ගහල ඉන්නව දැකපු නෑදෑයෙක් රොමියෝට කෙලි පොඩ්ඩක් සෙට්කරල දෙන්න හිතා ගත්ත.
දවසක් ඒ මෑන් රොමියෝත් එක්ක කිට්ටුව පාත තියෙන මඟුල් ගෙදරකට ගියා.. එහෙදි රොමියෝට ජුලියට් නෝනව දකින්න ලැබිල පපුවට නිකං කරන්ට් එක වැදුන වගේ වෙලා ජුලියට්ට ඇහැට ඇහැ දුන්න.. රොමියෝ දැක්ක හැටියෙ ජුලියට්ගෙ පපුවත් නිකං කීරි ගැහිල ගියා වගේ දැනුනා..
ඊට පස්සෙ ජුලියට්ගෙ වංහුං හොයල බැලින්නං ඒ රොමියෝලගෙ පවුලෙ ජන්මාන්තර වෛරක්කාරයින්ගෙ දූ.. මේ පවුල් දෙක මොන තරම් ඇරගත්තු ගමන් හිටියද කියතොත් පවුල් දෙකේ බල්ලො දෙන්නෙක් මගදි face to face හම්බ වුනත් ඇරගන්න එක තමා සිරිත.. ලව් කරන්න ගියාම ඔය පවුල් වල වාද බේද තුට්ටුවකට ගණන් ගන්නෙ නැති හින්දා රොමියෝ දන්න සෙල්ලං දාලා ජුලියට්ව මාට්ටු කරගෙන ගෙවල් ‍වලට කොලේ වහගෙන තදේට ලව් එක ගෙනිච්චා...
ඒත් ඔය ලව්‍ සෙල්ලම විතරක් හැංගි හොරා කරන්න බැරි හින්දා, ජුලියට් ගැන පොඩි අයිඩියා පාරක් හිතේ තියාගෙන හිටිය ටයිබෝල්ට් කියන ඇගේ මචං පොඩ්ඩට මේක ඉව වැටුනා.. දවසක් ඒ මෑන් රොමියෝට ජාතියක් දාන්න ගිහිං, රොමියෝත් එක කඩු පාරෙන්ම ඒ මෑන්ව නොකවුට් කලා..
මේ ගෝරියෙන් පස්සෙ රොමියෝ ඒ රටෙන් පිටුවහල් කළා. ඒත් සයිඩ් සපෝටර්ලගෙ හෙල්ප් වලින් ජුලියට් එක්ක ලව් ලෙටර්ස් හුවමාරු කරන්න රොමියෝට චාන්ස් එකක් තිබුනා..
ජුලියට්ට ඉවසන්න බැරිම තැන දවසක් පූජකවරයෙකුට සිද්ධිය කිව්වම උන් වහන්සෙ දෙන්නව එක් කරන්න පොඩි ප්ලෑන් එකක් දැම්ම.. උන්නාන්සෙ ජුලියට්ට පොඩි බේතක් දීල කිව්ව මේක බිව්වම පැය විසිහතරක් මැරිලා වගේ ඉන්න පුලුවන්. එතකොට දෙමව්පියො ජුලියට් මළා කියල අමු සොහොනට ගෙනිහිං දැම්මම, රොමියෝට පණිවිඩයක් ඇරල, ආයි පණ ආවම එයා එක්ක යන්න පුලුවන් කියලා.
ජුලියට් ගෙදර ආ ගමන් අර බේත බීපු හැටියෙ තාවකාලිකව මළා.. ගෙදර අය ඈව අමු සොහොනට ගෙනිහිං දැම්මා. පූජකවරයා මෑන් කෙනෙක් අතේ රොමියෝට ඔක්කොම විස්තර දන්වල ලියුමක් ඇරියා. ඔය අස්සෙ රොමියෝගෙ හෙල්ප් කාරයෙක් ජුලියට් ඇත්තටම මළයි කියල හිතල ඒ නිව්ස් එක රොමියෝට ගිහින් කිව්වා. අර පූජකවරය ඇරපු පණිවිඩකාරයා ගියේ බස් එකේ හින්ද ඒ මෑන්ට ටයිම් එකට රොමියෝ හම්බ වෙන්න යාගන්න බැරි උනා..
අර හෙල්ප් කාරයගෙ නිව්ස් එක ලැබුන හැටියෙ රොමියෝ පිස්සා ‍වගේ ජුලියට් බලන්න අමු සොහොනට ඇරදාල ආවා.. ඇවිත් ජුලියට්ගෙ මළකඳ බදාගෙන අඬල සයිඩ් එකට වෙලා ඉන්න කොට, අර බේත බීල පැය විසිහතර ගතවෙලා ජුලියට්ට ආයි පණ ආව..
පණ ඇවිත් නැඟිට්ට විතරයි රොමියෝ බයවෙච්ච පාර මෙන්න මළ මිනිය නැඟිට්ටෝ කියල යටි ගිරියෙන් මර ලතෝනි තිය තියා ආගිය අතවත් හොයාගන්න බැරි විදිහ‍ට ඔලුව හැරුනු අතේ දුවල මාරු වුනා....

ආදර්ශය-මැරීගෙන ලව් කිරීමෙන් වැඩක් නැත.....

Wednesday, December 15, 2010

කථා පිංච-එල්.සී.ජයසිංහ

දවසක් මට අපේ ගෙදර පරණ පොත් රාක්කෙක තිබිලා පොඩි පොතක් හම්බ වුනා... ඒකෙ තිබ්බෙ පරණ පත්තරේක ගිය කථා වගයක්... ඉතිං මහ ලොකුවට BLOGSPOT එකේ account එකක් හැදුවට ඒක එදා ඉඳංම හිස් තිබ්බ හින්දත් ‍, මේ කථා වලිං ගන්න හොඳ ආදර්ශයකුත් තියෙන නිසාත් මම මේ ටික වෙලාව තියෙන තියෙන හැටියට PUBLISH කරන්නං මේ වගෙ සමහර තැන් පොඩ්ඩ පොඩ්ඩ මම වෙන්ස් කලා අදට ගැලපෙන්න

Monday, August 30, 2010