Loading...

Sunday, March 13, 2011

පුළුන් මෙට්ට සහ රට කජ්ජ (The princess and the peanut ඇසුරෙනි)(-කතා පිංච-එල්.සී.ජයසිංහ-)


ඉස්සර එක රටක සිටු පවුලක් හිටියා. සිටාණෝ මැරිල සිටු දේවියි, සිටු පුතයි විතරයි හිටියෙ. ඒ සිටු කුමාරයත් ඔන්න සිටු කියලවත් ගෙදර නවත්තගන්න බැරි මද කිපෙන වයසට පැමිනියා. ඒ කිව්වෙ ඉලංදාරිය වුණා. ඉතිං ඔය වයසෙ ගැටවරයින් දඩාවතේ යන එක නවත්තන්න තියෙන එකම ක්‍රමය මොකෙක් හරි කෙලි පැටික්කියක් මාට්ටු කරල දෙන එක හින්ද ඒ සිටු කුමාරයටත් පෙළවහක් කරල දෙන්න සිටුදේවිය ලැහැස්ති කළා...
ඔය වයසෙ ඉලංදාරින්ට දෙමව්පියෝ ඔහොම යෝජනාවක් කරපු හැටියෙ ඒකට කැමති වෙන් නෑ. මොකද ඉලංදාරි දන්නව දෙමව්පියන්ගෙ ටේස්ට් එක. ඒ ගොල්ල හොයන්නෙ උගත්, වැදගත්, පොහොසත්, තැන්පත් හොඳ ගති පැවතුම් ඇති ගෙදර දොරේ වැඩ දන්න අර පත්තර වල මංගල යෝජනාවලට දාන ජාතියෙ කුල කුමරියෝ. නමුත් ඔය වයසෙ ඉලංදාරින්ට ඕනැ ‍කරන්නෙ ස්ටයිල්කාර විසේ ඇති බඩු. ඒක හින්ද දෙමව්පියන්ගෙ හිත් රිදෙනවට ඔහොම දෙයක් ගැන කියපු හැටියෙ ඉලංදාරි කියන්නෙ “අපෝ ඒව ගැන මං තාම හිතුවෙවත් නෑ..”, “පස්සෙ බැරියැ..”, “මට තව දුරට ඉගෙන ගන්න ඕනෙ..” වගේ මොකක් හරි බොරුවක්..
ඉතිං අර සිටු කුමාරයත් අම්මගෙ අර යෝජනාව ගැන දැනගත්තු ගමන් අම්මගෙ හිත රිදෙනවට කිව්වෙ “අනේ අම්මි, මම නං රජ කුමාරියක්ම මිසක් වෙන කෙනෙක් නම් පෙළවහට ගන්නෙ නෑ...” කියල..
බඳින වයසෙ කෙල්ලො රටේ ලෝකෙ කොච්චර හිටියත්, බඳින්න කෙනෙක් හොයන්න ගිය දාටයි කෙනෙකුට හිතෙන්නෙ “හැබෑට මේ ගෑණු කියන ජාතිය මෙච්චර හිඟද” කියල. ඉතිං සාමාන්‍ය ගෑනු කෙනෙක් හොයන එකත් ඔච්චර අමාරු නම් රජ කුමාරියක් හොයනවයි කියන එක ලේසි පහසු වැඩක් නොවන බව සිටු දේවිය දැන ගත්ත. ඒ උනත් පුතාට ඕනෙ රාජ කුමාරියක්මයි කියපු හින්දා සිටු දේවිය කොහොම හරි ඒ වැඩේ කරන්න වෙහෙසුනා..
අපි වගේ සාමාන්‍ය අයට කවදාවත් හිතපු දෙයක් හිතන විදියට නොලැබුණාට සල්ලිකාර සිටුවරයො වගේ ඇත්තන්ට යමක් හිතුනොත් ඒක හිතුවටත් වැඩිය ඉහළිනුයි ලැබෙන්නෙ. ඒ හින්ද සිටු දේවියත් දන්න මට්ටම් දදා සිටු කුමාරයට රජ කුමාරියක්ම හොයන්න වෙහෙසෙන කාලෙ දවසක් රෑ හෝ ගාල හෙණ අනෝරා වැස්සක් වැස්සා. ඒ වැස්සෙ තෙමීගෙන කව්ද ලස්සන ගෑණු ළමයෙක් වැස්සට හිටින්න කියල සිටු මාළිගාවට ගොඩවුණා.
සිටු දේවිය ඒ ගෑණු ළමයව දැකල විස්තර ඇහුවම එයා රජ පවුලත් එක්ක විනෝද සවාරියක් ගහන්න ඇවිත් පාර වැරදිලා යන එන මං හොයාගන්න බැරුව ආපු රාජ කුමාරියක් කිව්වා. ඒත් ඒක ඇත්තද කියල බලන්න සිටු දේවිට හිතිල එදා රෑ ඒ ගෙදර නතර වෙන්න කියල හොඳට රෑ භෝජනේ පිළියෙල කර දීල නිදා ගන්න ඇඳකුත් ලෑස්ති කළා. ඔන්න ඕකෙන් තමයි එයා නියම රාජ කුමාරියක්ද කියල හොයා ගන්න සිටු දේවිය උපායක් යෙදුවෙ. කුමාරිට නිදා ගන්න පිළියෙල කළ ඇ‍ඳේ සිනිඳු පුළුන් මෙට්ට විස්සක්ම එක පිට එක දාල අඩියෙම මෙට්ටෙ යටින් රට කජුවක් තිබ්බා. ඉතිං කුමාරිට නිදාගන්න කියල පහුවදා උදේ ගිහිං ඇහුවා “කොහොමද හොඳට නින්ද ගියාද..?” කියල. ඒ සැරේ කුමාරි කිව්ව “මොන නින්දක්ද අනේ, රට කජ්ජක් වගේ මොකක්ද එකක් පිටේ ඇනෙන්න වුන හින්ද එළිවෙනකම්ම මං හිටියෙ එහාට මෙහාට පෙරළි පෙරළි..” කියල.
ඒ කථා වෙන්ම සිටු දේවි දැන ගත්ත කුමාරි නියම රජ සැප විඳපු රජ බඩුවක් බව. අර තරම් මෙට්ට දාල දීලත් රට කජ්ජක් වගේ සුළු දෙයක් උනත් යට තිබුන එක කරදරයක් වුණේ රජ සැප විඳපු රජ කුමාරියක් හින්දමයි කියල විස්තර කරල දීල පුතාට කිව්වා “ඔන්න එහෙනං දැං රජ කුමාරියක් හම්බ වුණා, බැඳපං” කියලා. ඒ සැරේ “රට කජ්ජක් ඇණුන පමණින් රැයක් නින්ද නොයන තරම් සැප විඳපු එකියක් බැන්‍‍දොත් තමාට නම් කවදාවත් සැපතක් විඳින්න ලැබෙන්නෙ නැහැයි” කියල ඒ රාජ කුමාරිට යන දිල්ලියක යන්න අරින්නයි අම්මට කියල ඇතුළට වුණා..
ආදර්ශය- සල්ලිකාරයෙක් බඳින්න බලාපොරොත්තුවන ගැහැණු උදවිය සැප විඳීමට බලාපොරොත්තු නොවිය යුතුයි..

2 comments: