Thursday, February 17, 2011

ගෙදර දෙයියෝ (-කතා පිංච-එල්.සී.ජයසිංහ-)

ඉස්සර එක ගමයෙක් හිටියා. ඔය ගමයා කසාද බඳින දවසෙ ගමේ ඉස්කෝලෙ ප්රිෙන්සිපල් මහත්තයා මඟුල් මේසෙදී මනමාලයට අවවාද කරන ගමන් කිව්ව ගෙදර සාමය පවත්තගන්න නං පුර්ෂයා තමාගෙ භාර්යාව අදහන්න ඕනෙ කියල.. “අදහන්න” කියන එකෙන් ඉස්කෝලෙ මහත්තය අදහස් කලේ “විශ්වාස කරන්න” ඕනෙ කියන එකයි.. ඒත් ගමයා ඒක වරදවා තේරුම් අරං එදා ඉඳල ගම මහගෙට වැඳුම් පිදුම් කර කර දෙයියන් අදහන්නා වගේ අදහුවා..


ඉතිං ගමයගෙන් වැඳුම් පිදුම් ලබ ලබා ගම මහගෙ දිව්යේ කුමාරියක් වගේ ඉන්නකොට දවසක් ගෙදරට ආ දැනුම් තේරුම් ඇති වැඩිහිටියෙක් ගමරාළට තමන් කරන මස්ත බාල්දු වැඩේ ගැන තේරුම් කරල දීල, පහුවදාම ගමයට වැදුම් පිදුම් කරන්න දේව රූපයක් ගෙනත් දුන්නා.. එදා ඉඳල ගෑනිගෙන් බලු බැනුම් අහ අහා ගමයා දේව රූපෙට වන්දනාමාන පුද සත්කාර කර කර ඉන්නකොට දවසක් දේව රූපෙට තියන පානෙ නිවිච්ච පාන් තිර කන්න ආපු මීයෙක් දෙයියන්ගෙ ඉහට උඩින් පනින්න ගිහිං දෙයියො පෙරළිලා බිම වැටිලා කුඩු පට්ටම් වෙලා චුත වුණා..


ගමයා මේක දැකල “දෙයියව බිම පෙරලන්න තරම් හයිය තියෙන මීයා තමයි නියම දෙයියා” කියල මීයව අල්ලගෙන කූඩුවක දාගෙන කෑම බීම දිදී ඌට පුද පූජා පැවැත්තුවා.. මීයත් මේව කාල බීල නිකං පුස් ඌරා වගේ ලොකු වුනා.. මී දෙයියන්ව දැකපු දා ඉඳං ඌට කෙළ හළ හළා හිටපු ගෙදර බැළලි දවසක් ගමයා පූජාව තියන්න කූඩුව අරිනවත් එක්කම ඇතුලට පැනල මී දෙයියන්ව අල්ලගෙන කෑවා.. එදා ඉඳල ගමයා බැළලිව අදහන්න පටන් ගත්තා..


බිළාල දේව මෑණියන්ට කිරි, මස් මාළු ආදී බිලියම් දිදී ගමයා කරන දේව තේවාවෙන් පස්සෙ ගෙදර හිටිය බල්ලට ගමයගෙන් කලින් තිබුණ සැලකිලි කිසි දෙයක් නැති වුනා. බළල් දේවතාවිට මස් මාළු පිළිගන්වන වෙලාවක බල්ල හෙම ඒ කිට්ටුවට ගියොත් “දුප්..! මගෝඩියා..” කියල ගමය ඌට පයින් ගහල පන්න ගන්න‍ව. මේකෙන් බැළලි ගැන වෛරයක් බැඳගත්ත බල්ලා “හොඳයි පූසා.., හිටපිය මටත් වාරයක් එනකං” කියල පුපුර පුපුරා හිටියා.


ඔහොම ඉන්නකොට අර “Every dog will have its day” කියන ඉංගිරීසි කියමනේ හැටියට බල්ලගෙ වාරෙත් ආවා.. දවසක් බැළලි දිව්යී භෝජනේ වලඳලා ගෙයි එලිපත්ත උඩට වෙලා අව්ව තැප තැප ෂපාන් එකේ ඉන්නව දැකල බල්ල පිළිකන්නෙ ඉඳල කුරුමානං අල්ලල ඇවිත් පැන්න ගමන් බැළලිගෙ බොටුව දෙකට කඩා දැම්ම. ගමයා මේක දැකපු හැටියෙ “යකෝ.. මූ නේ නියම දෙයියා..” කියල එදා ඉඳලා බල්ලට දෙයියන්ට වගේ පුද පූජා පවත්වන්න වුණා..


අනික් අය වගේ නෙවෙයි, බල්ලව දෙයියො කරගෙන ගමයා කරන බහුබූතෙ දැක්කට පස්සෙ ගම මායියට ඉරිසියාවෙ ඉහිලුම් නැතුව ගියා.. කලින් වෙච්ච දේවල් ඔක්කොම දැකපු ගම මහගෙ දැනගත්ත බල්ලට වැඩක් දීපු දාට තමාට නැවතත් දේවත්වය ලබා ගන්න පුළුවන් බව.. ඉතින් මේකට හොඳ වෙලාවක් බල බලා ඉන්න කොට, ගමයගෙන් අර තරම් පුද පූජා ලැබෙද්දීත් බල්ලගෙ බලු ගතිය අත් අරින්න බැරි හින්ද, දවසක් බල්ලා බත් වළඳට ඔළුව ඔබල හොරා කන්න හැදුවා. ගම මහගෙත් හොඳට මාන බලලා බල්ලගෙ ඔලුවටම ඉලක්කෙ අල්ලලා, දොර පොල්ලෙන් එක පාරයි දුන්නෙ සුනඛ දේවතාවා එතනම උඩු කුරුන්දං වෙලා ස්වර්ගස්ත වුණා..


ගමයත් මේ සිද්ධිය බලාගෙන ඉන්නව ගම මහගෙ දැකල හරිම සන්තෝස වුණා. දැන් ඉතිං ආයෙත් වාරයක් ගමයගෙන් වැඳුම් පිදුම් ලබන්න ලැබෙනව නේද කියල කුස්සියෙන් එළියට බැහැල බැලුවහම ගමයා ගෙයින් පිටවෙලා වත්තෙ කඩුල්ලෙන් පැනල කඩ මංඩිය දිහාට යනව පෙනුණා. තමාට පූජා කරන්න කලමනා හරි හම්බ කරගෙන එන්න තමා එයා ගියේ කියල ගම මහගෙ ගමයා ආපහු එනකල් පිල උඩට වෙලා ඉන්න කොට ගමයා වැඳුම් පිදුම් කරන්න කියලා තවත් බල්ලෙක් කොහෙන්දෝ හොයන් ආවා...


ආදර්ශය-දෙවරක් බිරිඳ අදහන මිනිහෙක් නැත..

No comments:

Post a Comment